Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු අතට පත්වන ලකුණු




ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම යෝජනාව සිදු කර ඇත්තේ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් කමිටුව විසින්. 

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේ මෙම යෝජනාව ඉදිරි විධායක කමිටු රැස්වීමට ඉදිරිපත් කර ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි.                  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර අලූතින් පිහිටුවීමට නියමිත අතර පුහුණුකිරීම්, දේශිය තරගාවලි, සංවර්ධන කණ්ඩායම්, වයස් කාණ්ඩ ඇතුලූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලූ කරුණු නව අධ්‍යක්ෂවරයා යටතේ සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ. 

ටොම් මූඩි ශ්‍රී ලංකා පිල සමග සිටි සාර්ථක පුහුණුකරුවෙකු වන අතර 2007 වසරේදි පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරයින් බවට පත් වූයේද ඔහුගේ පුහුණුව යටතේයි.

මේ අතර එළඹෙන බටහිර ඉන්දීය කොදවේ තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස පන්දුවාර තරගාවලිය සදහා ක්‍රිීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇතැයි වාර්තා වනවා.

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් දෙදෙනෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් විසින් මෙම තේරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති බවයි ක්‍රිකට් ආරංචි වැඩිදුරටත් සදහන් කළේ. 

නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අශේන් බණ්ඩාර සහ පැතුම් නිශ්ශංකද එක්දින සහ විස්සයි විස්ස තරගාලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇතැයි සදහන්. ආබාධ සහ ශාරීරික යෝග්‍යතාව යන කරුණු මත කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන සහ සන්තුෂ් ගුණතිලක සංචිතයෙන් ඉවත් කර ඇති බවද වාර්තා වනවා.

දෙවන ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ ධනුෂ්ක ගුණතිලක නැවතත් සංචිතයට කැදවා තිබෙනවා. ආබාධ වලට ලක්ව සිටින, ආබාධ වලට ලක්ව සුව වෙමින් සිටින සහ සියයට සියයක් ශාරීරික යෝග්‍යතාව නොමැති කිසිදු ක්‍රිඩකයෙකු සංචිතයට එක්වීම අවස්ථාවක් හිමිවන්නේ නැහැ.  

කොදෙව් තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් දූපත් බලා පිටත්ව යාමට ඇත්තේ තවත් දින  2ක් වන අතර ඊට එක්වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ නිල සංචිත මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.