Friday, March 29, 2024

General line - 0115112241

මෙවර ක්‍රිකට් නිලවරණයට හිටපු නායකයින් දෙදෙනෙක්




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා රණතුංග පාර්ශවයෙන් හිටපු ක්‍රිකට් නායකයින් දෙදෙනකු ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. හිටපු නායකයින් දෙදෙනෙකු වන බන්දුල වර්ණපුර සහ සනත් ජයසූරිය මෙලෙස මෙවර ක්‍රිකට් නිලවරණයේදී රණංතුංග පාර්ශවෙයන් උප සභාපති තනතුරු සදහා තරග වැදීමට සූදානමින් සිටිනවා. කෙසේවෙතත් මේ විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි රණතුංග පාර්ශවය සදහන් කළේ. රණතුංග පාර්ශවයෙන් මෙවර ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුරට තරග වදින්නේ හිටපු උප සභාපතිවරයෙකු වන කේ මතිවානන්. එම පාර්ශවයෙන් ලේකම් තනතුර සදහා හිටපු ලේකම් නිශාන්ත රණතුංග තරග වැදීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා මෙවර සභාපති තනතුර සදහා තරග වදින අතර ඔහු ඉකුත් නිලවරණයේදී ඡන්ද 86ක් ලබා ගනිමින් සභාපති තනතුරට තේරී පත් වුණා. ඒ වැඩි ඡන්ද 27කින්, ජයන්ත ධර්මදාස පරාජය කරමින්. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වෙන අතර නාමයෝජනා භාර ගැනීම ලබන 24 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. වසර දෙකක කාලයක් සඳහා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරීන් පත් කර ගැනීම එහිදී සිදු වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපති ධුර 02 ක්, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සදහා මෙම නිලවරණයේදී නිලධාරීන් තෝරාපත් කර ගැනීමට නියමිතයි. 

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් සහ පළාත් ක්‍රීඩා සංගම් ඇතුලූ පාර්ශව 144 ක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.