Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්




පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි එහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.  

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ අධ්‍යයනය කිරීමට සය පුද්ගල කමිටුවක් ද ඉකුත් දා පත් කෙරුණා. එම කමිටුවට පත් කළ නියෝජිතයින් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විවිධ අදහස් ද පළ කළා. කෙසේවෙතත්, පාස්කු ඉරිදා  ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාවෙන් ලබාදී ඇති නිර්දේශ අධ්‍යයනය කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිළි කළා. 

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ අධ්‍යයනය කිරීමට පත් කළ සය පුද්ගල කමිටුව පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය ද විශේෂ නිවේදනයක් ඊයේ නිකුත් කළා.  

එහි දැක්වුණේ කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූවේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බවද එම නිවේදනයේ සඳහන්. 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයනට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකරන බවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.