Friday, April 26, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ට දිවයිනට එන්න ඉන්දියාවෙන් අවසරයක්




ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට සිය ගුවන් සීමාව හරහා පැමිණීමට ඉන්දියාව අවසර ලබාදී තිබෙනවා. ඉන්දියාව හා පකිස්තානය අතර පවතින අර්බුද හමුවේ ඉන්දීය ගුවන් යානාවලට පකිස්තානු ගුවන් කලාපය හරහා ගමන් කිරීමේදීත්, පකිස්තානු ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමේදීත්, ඔවුනොවුන් විසින් සීමා පනවනු ලැබුවා.

කෙසේවෙතත්, පකිස්තානු අග්‍රාමාත්‍යවරයා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානය සඳහා සිය රටේ ගුවන් සීමාවට ඇතුළුවීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව සිදුවන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා නිල සංචාරය අද ආරම්භ වනවා. ඔහු අද මෙරටට පැමිණෙන්නේ මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙසයි.

එසේම පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේදී සිදුකරන පළමු විදෙස් සංචාරය ද මෙය වනවා. සංචාරය අතරතුරදී පකිස්තානු අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වනු ඇති.