Friday, April 19, 2024

General line - 0115112241

කොරෝනා බ්‍රසීලය යළිත් දැඩි අවදානමක




කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රසීලය යළිත් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පාමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ බ්‍රසීලයේ සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට ආසන්න බවයි. බ්‍රසීලය පුරා රෝහල් මේවනවිටත් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ.

රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ගත හැකි රෝගීන් ප්‍රමාණය ද ඉක්මවා දෛනිකව ආසාද්‍ය රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ හැකි ඉක්මනින් දැඩි කොරෝනා රෙගුලාසි පනවන ලෙසයි සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

විදෙස් වාර්තාවන්ට අනුව බ්‍රසීලයේ ප්‍රාන්ත 18 ක පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකකවල මේවනවිටත් සියයට 80 ක ධාරිතාව ඉක්මවා රෝගීන් ඇතුළත් කර තිබෙනවා.

ඉන් දැඩි සත්කාර ඒකක 09 ක්ම සියයට 90 ක ධාරිතාව ඉක්මවා රෝගීන්ගෙන් පිරී ඇති බවයි පැවසෙන්නේ.

එබැවින් කඩිනමින් අවශ්‍ය පියවර අනුගමනය නොකළහොත් රෝහල් පද්ධතිය බිඳ වැටී දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.