Wednesday, April 24, 2024

General line - 0115112241

වේල්ල වීදියෙන් හමුවූ හිස සුන් කාන්තා සිරුරේ අනන්‍යතාවය හෙළිවේ : ඝාතනයට සම්බන්ධ SI සියදිවි හානිකර ගනියි (PHOTOS)




වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.

පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කර සිටියේ.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත්  මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සැක පළකර සිටින්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවූ බවත් ඊට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ද සියදිවි හානිකර ගෙන ඇති බවත් ඔහුගේ සිරුර හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ සියදිවි හානිකර ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇමති ආරක්ෂක සේවයට අනියුක්තව වසර 15 ක කාලයක් සේවය කර තිබෙනවා. සැකකරු කලක් සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව සැකකරු බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව මාරුකර යවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. 52 හැවිරිදි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා  තිදරු පියෙක්. ඔහුට අවුරුදු 24 හා 16 යන වයස් කාණ්ඩවල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු හා 20 හැවිරිදි දියණියක් ද වන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත්, වේල්ලවීදිය ප්‍රදේශයේ තිබූ ගමන් බෑගයේ තිබී සොයා ගැනුණේ සැකකාර පොලිස් නිලධාරියා විසින් ඝාතනය කළ කාන්තාවගේ හිස නොමැති මෘත ශරීරය පමණයි. එහි හිස කොටස මේවනතෙක් හමුවී නැහැ. එම හිස කොටස සොයා අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළා. මියගිය කාන්තාවගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන බවයි වාර්තා වන්නේ.