Friday, March 29, 2024

General line - 0115112241

වැඩත් පෙන්වා ගුටිත් කෑ අකිල ධනංජය වාර්තා අතරට




පන්දුවාර විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තුන්වන පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට අකිල ධනංජය අද සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදීයි. එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරන් ධනංජයගේ පන්දු හමුවේ එලෙස දැවී ගියා.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131 ක්.

මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගත් යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක පන්දු 34 කදී ලකුණු 39 ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි එක් පන්දුවකදී කඩුලු 06 කට ලකුණු 134 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

කිරන් පොලාර්ඩ් ලකුණු 38 යි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 29 ක් රැස් කළා.

 පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 62 කට කඩුලු 03 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු කඩුලු ත්‍රිත්වය වාර්තා කළේ සිය දෙවන පන්දුවාරයේදීයි. කෙසේ වෙතත්, අකිල ධනංජය ක්‍රියාත්මක කළ තුන්වන පන්දුවාරයේදී කිරන් පොලාර්ඩ් විසින් හයේ පහර 06 ක් එල්ල කිරීම ද විශේෂත්වයක්.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ සහ පන්දු ඕවරයකදී පිතිකරුවෙකුගෙන් හයේ පහර හයක ප්‍රහාරයකට ලක් වූ එකම පන්දු යවන්නා ලෙස ද අකිල ධනංජය වාර්තා අතරට එක් වුණා.