Saturday, April 20, 2024

General line - 0115112241

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකට අභියාචනාධිකරණයෙන් නොතීසි




කුරුණෑගල පෞරාණික රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් මැයි මස 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකාර පාර්ශවයන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන නාමල් කරුණාරත්න ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කුරුණෑගල නගරාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.

අදාළ පෙත්සම අද සලකා බලනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ මයාදුන්නේ කොරෙයා යන විනිසුරු මඩුල්ල හමුවේයි.