Wednesday, April 24, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට යැවීමට නියමිතව තිබූ කොවිඩ් එන්නත් තොගයක් ඉතාලියේ විරෝධයෙන් නවතී




ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීමට නියමිතව තිබූ එන්නත් මාත්‍රා 250,000 ක තොගයක් අපනයන කිරීම අවහිර කිරීමට ඉතාලි රජය පියවර ගෙන තිබෙනවා. එලෙස නවතා දමා ඇත්තේ ඉතාලියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවන මධ්‍යස්ථානයක් මගින් ඕස්ට්‍රේලියාවට යැවීමට නියමිතව තිබූ එන්නත් මාත්‍රා තොගයක්. 

යුරෝපා සංගමයට අයත් රටවලට ලබාදෙන බවට ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් එකඟ වූ එන්නත් සැපයුමෙන් සියයට 40 ක් වසරේ පළමු මාස 03 තුළ ලබාදීමට එම සමාගම ගිවිසුම්ගතව සිටිනවා. නමුත් නිෂ්පාදන ගැටළු හේතුවෙන් නියමිත පරිදි එන්නත් මාත්‍රා තොග සැපයීම ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් සමාගම් විසින් ප්‍රමාද කර ඇති බවටයි, ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙපෙ කොන්ටේ චෝදනා කරන්නේ. එමගින් අදාළ සමාගම් සිය ගිවිසුම් කොන්දේසි උල්ලංඝණය කර ඇති බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව එන්නත් නිෂ්පාදන සමාගමක් විසින් යුරෝපා සංගමයට ඉටු කිරීමට නියමිත ගිවිසුම් ප්‍රකාර කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපනයන නැවැත්වීමට පියවර ගත්, යුරෝපා සංගමයට අයත් පළමු රට වන්නේ ද ඉතාලියයි. ඕස්ට්‍රේලියාව අවදානමට ලක්විය හැකි රටවල් ලැයිස්තුවට අයත් නොවීම සහ ඉතාලිය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් හිඟයක් පැවැතීම හේතුවෙන් එම පියවර ගත් බවයි ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙපෙ කොන්ටේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.