Friday, March 29, 2024

General line - 0115112241

ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති වර්ණ




ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති වර්ණ ප්‍රදානය කර තිබෙනවා. ඒ, අද  පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේදීයි.

එම උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බවයි. ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා. මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුලින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණදිය හැකි බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

“සුරකිමු ලකඹර” තේමා කර ගනිමින්, දශක 07 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 05 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපතිවරයා අතින් වර්ණ ප්‍රදානය කෙරුණා. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13 කින් පිදුම් ලබා තිබෙනවා.