Thursday, April 18, 2024

General line - 0115112241

ආදිවාසී නායකයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයෙන් අද දුන් තීරණය




ආදිවාසීන්ගේ නිජ බිම් ලෙසට සැලකෙන රඹකැන් ඔය රක්ෂිත ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම අභියෝගයට ලක් කරමින් ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව මැයි මස 3 වනදා  අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. ඒ සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය ඇතුළු වග උත්තරකාර පාර්ශවයන්ගේ උපදෙස් ලබා ගන්නා ලෙස ද  අභියාචනාධිකරණය නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අදාළ පෙත්සම අද විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්න කොරෙයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ කියා සිටියේ, ප්‍රශ්නගත ඉඩම් මහවැලි අධිකාරිය යටතේ පැවති, මීට පෙර හේන් ගොවිතැන සදහා යොදා ගත් ඒවා බවයි. බඩ ඉරිඟු වගාකිරීම සිදු කරන සමාගමක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කර ඇති බව එහිදී දැනුම් දී තිබෙනවා. පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ද දැනුම් දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කැලෑ ප්‍රදේශ මහවැලි අධිකාරිය යටතට පවරාගෙන  බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දී තිබෙන බවත්, එම තීරණය අත් හිටුවමින් රිට් නියෝගයක් නිකුත් කරන ලෙසත් ආදීවාසී නායකයා සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.