Saturday, April 20, 2024

General line - 0115112241

පෘථිවිය ආසන්නයෙන් අද රාත්‍රියේ ගමන් කරන ග්‍රාහකය, තවත් වසර 47කින් පෘථිවියේ ගැටීමේ අවදානමක් 




2068 වසරේදී පෘථිවියේ ගැටෙනු ඇති බවට අනාවැකි පළකර තිබෙන මිටර් 340ක පළලින් යුත් " අපෝෆීස්" නමින් හඳුන්වනු ලබන ග්‍රාහකය අද රාත්‍රියේදී පෘථිවිය පසුකර යෑමට නියමිත බව තාරකා විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

"අපෝෆීස්" නමින් හඳුන්වනු ලබන මෙම ග්‍රහකය අද රාත්‍රියේදී පෘථිවියට කිලෝමීටර් මිලියන 16ක් දුරින් පසුකර යන බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

2004 වර්ෂයේ ජූනි මස 19 වෙනිදා ඇරිසෝනා හි කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයේ දී පළමු වරට තරකා විද්‍යාඥයින් විසින් මෙම "ඇපෝෆීස්" නමින් නම් කළ ග්‍රාහකය සුර්යයා වටා කක්ෂගත වන අයුරු නිරීක්ෂණය කර තිබුණා.

2068 වර්ෂයේදී මෙම ග්‍රාහකය පෘථිවිය හා ගැටීමකට ලක්වීමේ ඉඩකඩ ඇති බවත් එය එසේ සිදුවුවහොත් ඇතිවන බලපෑම TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් මිලියන 880ක පුපුරා යෑමක් හා සමාන වනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.

මෙවර මෙම ග්‍රාහකය පෘථිවිය හා ගැටීමට ඉඩක් නොමැති බව පවසන තාරකා විද්‍යාඥයින් එම ග්‍රාහකය මෙවර චන්ද්‍රයා ගේ පිහිටීම මෙන් 44 ගුණයක් දුරින් පෘථිවිය පසුකර යන බව සඳහන් කර සිටින්නේ.

මෙම ග්‍රාහකය යලිත් වරක් 2029 වර්ෂයේ අප්‍රේල් මස 13 වෙනිදා පෘථිවියේ සිට කිලෝමීටර් 37,000ක් දුරින් ගමන් කිරිමට නියමිතව ඇත. 

මෙයාකාරයේ විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන පළමු අවස්ථාව මෙය බව පවසන අමෙරිකාවේ නාසා ආයතනය ග්‍රාහකය පෘථිවියේ ගැටීමට ඇති අවස්ථාව සීයයට 01ක් බව ගණනය කර ඇත.

අද රාත්‍රියේ දී මෙම ග්‍රාහකය පියවි ඇසින් දැකීමට නොහැකි නමුත් දුරේක්ෂයක් මගින් ඉහල අහසේ "රටකජු හැඩයෙන්" යුත් මෙය සුර්යාගේ කක්ෂය හරහා ගමන් කරන අයුරු නිරීක්ෂණය කළ හැකි බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.