Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන කලු ඉරිදාව ඇරඹෙයි




අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි. මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින්. ඒ අනුව අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වන ලෙසටයි ඉල්ලීමක් කෙරුණේ. දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසද අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇතැයි සඳහන්. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම කළු ඉරිදාව අද ක්‍රියාවට නංවන බවයි. 

දිව්‍ය පූජාවෙන් පසුව ද පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා නිහඬව සිය විරෝධතාවය දැක්වීමට සියලු දේවස්ථානවල කටයුතු සූදානම් කර ඇති බවයි රදගුරු හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ. 

මෙලෙස කළු ඉරිදාවක් ඉකුත්දා නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවීමට පෙර එහි මහ මොළකරුවන් සොයාගැනීමට අසමත් වුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනඟන බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහිදී පැවසුවේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊයේ පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට එක් වෙමින් කියා සිටියේ ප්‍රහාරය පිළිබඳ කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණ බව හා උන්වහන්සේ ඒ පිළිබඳ කථා කිරීම නිවැරදි බවයි.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව ඉකුත් දා ජනාධිපතිවරයාට භාරදුන්නා. හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම ඇතුළු තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත්.