Wednesday, April 24, 2024

General line - 0115112241

නොමිලේ දුන් කොවිඩ් එන්නත් දෙලක්ෂ 64,000ක් දිවයිනට

ටී කේ ජී කපිල




ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ පිරිනමන පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. මෙලෙස ලැබී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතයි. ඒවා ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙනවා.

අදාළ එන්නත් මාත්‍රා තොගය ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඩුබායි වෙත රැගෙන ගොස්, යළි ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා. ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එන්නත් මාත්‍රා තොගය භාරගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බි්‍රගම් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. එන්නත් තොගය භාර ගැනීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කර තිබෙනවා. 
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත කියා සිටියේ එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල පැවැති විවිධ ගැටළු මේවනවිට නිරාකරණය කර ඇති බවයි.  

කොවිඩ් මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 20 කට සරිලන එන්නත් මාත්‍රා මෙරටට ලබාදීමට නියමිතයි. අද මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආවේ එහි පළමු එන්නත් මාත්‍රා තොගයයි. මෙම එන්නත් මාත්‍රා තොගය ලබා දීමෙන් පසු, ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති. ඉන්පසුව එම සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ පිරිනමන දෙවන එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් කියා සිටියේ.