Friday, April 19, 2024

General line - 0115112241

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට ඉන්දියාවත් ගෑවෙයි




හමුදා විරෝධී උද්ඝෝෂණ හමුවේ උණුසුම් වී ඇති මියන්මාරයේ දේශපාලන අර්බුදයට මේවනවිට ඉන්දියාවත් ඈඳී තිබෙනවා. ඒ, සිය රටින් පළාගොස් ඉන්දියාවට ඇතුළුවී සිටින පොලිස් නිලධාරීන් 08 දෙනෙකු යළි භාරදෙන ලෙස මියන්මාරය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමත් සමගයි. සිය නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සරණාගතභාවය ඉල්ලා එම පොලිස් නිලධාරීන් දේශ සීමාව පසු කර පළාගොස් ඇතැයි මියන්මාරයේ හමුදා පාලනය චෝදනා නගනවා.

අදාළ පොලිස් නිලධාරීන් සිය පවුල්වල සාමාජිකයින් සමග දේශසීමාව පසු කර සිය රටට පැමිණ ඇතැයි ඉන්දියාව ද තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව මියන්මාරය, ඉන්දියාවෙන් සුහද ඉල්ලීමක් කර ඇත්තේ මිත්‍ර සබඳතා පවත්වා ගැනීම සඳහා ඔවුන් යළි සිය රටට භාරදෙන ලෙසයි. කෙසේවෙතත්, අදාළ පොලිස් නිලධාරීන් භාරදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැහැ. 

විදෙස් වාර්තා අනාවරණ කරන අන්දමට පොලිස් නිලධාරීන් 08 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළුව 30 දෙනෙකු පමණ දේශ සීමා හරහා එලෙස ඉන්දියාවට පළාගොස් තිබෙනවා. මියන්මාරය තුළ පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉන්දියාවට පළායාම සඳහා තවත් බොහෝ පිරිසක් දේශසීමා ආසන්නයේ රැඳී සිටින බවයි ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ. 

කුමන්ත්‍රණයක් මගින් හමුදාව විසින් රාජ්‍ය පාලනය ලබාගැනීමෙන් පසුව මියන්මාරය තුළ ප්‍රබල මහජන විරෝධතා හා වැඩවර්ජන ක්‍රියාත්මකයි. හමුදාව සහ විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මේවනවිටත් මරණ 55 ක් පමණ වාර්තා වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළා. 

හමුදා පාලනයට එරෙහිව නගර රැසක තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ අත් බෝම්බ භාවිතා කරමින් සිටින බවටයි චෝදනා එල්ල වන්නේ.