Friday, April 26, 2024

General line - 0115112241

ගෑස් සමාගම් අනතුරේ : ගෑස් සැපයුම අඩාල වීමේ අවදානමක්




ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ද ඉහල දැමීමට සිදුවන බවත් ඊට අදාළ යෝජනාව ගෑස් සමාගම් විසින් පසුගියදා රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණා.

ඒ අනුව ලබන සදුදා රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ගෑස් මිල වැඩිවීමේ යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගෙන ඒමට නියමිත අතර එහිදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය සඳහන් කරන්නේ මෙරට ගෑස් මිල ඉහල දැමීමට ඉඩ නොලැබීම නිසා ගෑස් ව්‍යාපාරය පවත්වාගෙන යාම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.

පසුගිය මාස අටක් පුරා සෑම මසකම ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල ගණන් ඉහල ගිය බවත් ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම හේතුවෙන් ආනයන වියදම්ද ඉහල ගොස් දේශීය ගෑස් ව්‍යාපාරය දැඩි අවදානමකට ලක්ව ඇති බවද ඔහු පවසනවා.

ගෙවුණු මාස අටේදී තම සමාගම දිගින් දිගටම පාඩු ලැබූ අතර පසුගිය මාසයේදී පමණක් රුපියල් මිලියන 300ක පාඩුවක් ලබා ඇති බවද හෙතෙම අවධාරණය කළේ.

අද වන විට ලෝක වෙළෙඳ පොලේ පවතින ගෑස් මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750කින් ඉහල දැමීමට සිදුවන බවත් පසුගිය කාලයේ ඩොලර් 350ට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල දැනට ඩොලර් 625 දක්වා ඉහල ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ගෑස් මිල ඉහල දැමීමට පාරිභෝගික අධිකාරියෙන් ගෑස් සමාගම් ඉල්ලීම් කළද එම අධිකාරිය ඊට අවසර ලබා දී නොමැත.

ගෑස් වලට අදාලව මිල සූත්‍රයක් තිබුණද ඊට අදාල බලධාරීන් ඉඩනොදීම හේතුවෙන් ගෑස් ව්‍යාපාරය අනතුරු දායක මට්ටමට පැමිණ ඇතැයි එම සමාගම් පෙන්වා දෙයි.