Friday, April 19, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා දේවස්ථාන කලුවෙයි

ඔගස්ටින් ප්‍රනාන්දු / මාධව කුලසූරිය / රංජිත් රාජපක්ෂ




දිවයින පුරා කතෝලික දේවස්ථානවල අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. ඒ, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින්. උදෑසන පැවැති දේවමෙහෙයෙන් අනතුරුව ඊට සහභාගීවූවන් මෙලෙස නිහඬ විරෝධතාවයේ නිරත වුණා. අද දින කතෝලික දේවස්ථානවලට පැමිණි බැතිමතුන් කළු ඇඳුමින් සැරසී සිටිනු දැකගත හැකිවුනු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඒ, අගරදගුරු පදවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද කළු ඉරිදාවට සමගාමීවයි.

මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින්. උදෑසන 08 යි 45 ට ප්‍රහාරය අනුස්මරණය කරමින් සියලු දේවස්ථානවල සීනුව නාද කිරීමක් ද සිදුවුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා. කළු ඉරිදාව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සොයා බැලීමට නෙත් නිවුස් අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ, හලාවත ප්‍රදේශයේ තත්ත්වය සොයා බැලූ ඔගස්ටින් ප්‍රනාන්දු. 

වතුකරයේ කතෝලික ජනතාව ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් අද කළු ඉරිදාවට එක්වුණා. 

උතුරු නැගෙනහිර කතෝලික බැතිමතුන් ද අද කළු ඉරිදාවට එක්වුණා. ඔවුන් ද උදැසන දේවමෙහෙයෙන් පසු නිහඬ විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. 

දිවයින පුරා කළු ඉරිදාව සමරමින් කතෝලික බැතිමතුන් විනාඩි 02 ක නිශ්ශබ්දතාවක් ද පැවැත්වුවා. කොළඹ අගරදගුරු අතිඅතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද පෙරවරුවේ කොචිචිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි කළු ඉරිදාව සමග එක්වුණා. 

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් ද මෙරට ක්‍රියාත්මක වූ කළු ඉරිදාවට සිය සහය පළ කළා. ඉතාලියේ නෙවිල් ජෝ පියතුමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනමින් අවසන් කර සත්‍යය රටට හෙළි කළ යුතු බවයි. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවීමට ආසන්න වී ඇතත් ඊට මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවයි.