Friday, March 29, 2024

General line - 0115112241

පාප් වහන්සේ ඉරාකයේ IS බලකොටුවකට යයි




ඉරාකයේ ඓතිහාසික සංචාරයකට එක්ව සිටින ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ මේවනවිට උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට පැමිණ සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ එම ප්‍රදේශ කලක් අයිඑස් සටන්කාමීන්ගේ බලකොටු ලෙස පැවැති ප්‍රදේශ බවයි. 2014 වසරේදී අදාළ ප්‍රදේශ අයිඑස් සන්කාමීන්ට නතුවූ අතර ඔවුන් එහිදී එම ප්‍රදේශවල පිහිටි සියලු දේවස්ථාන විනාශ කරමින් කොල්ලකෑම්වල නිරත වුණා. අදාළ ප්‍රදේශවලට යළිත් කිතුණුවන් පැමිණියේ 2017 වසරේදී අයිඑස් සටන්කාමීන් ලද දරුණු පරාජයෙන් පසුවයි. එවන් අවදානම් පසුබිමක පවතින ඉරාකයේ උතුරු ප්‍රදේශයට පාප්වහන්සේ පැමිණීම විදෙස් මාධ්‍ය රැසක දැඩි අවදානයට සහ කථාබහට ලක්ව තිබෙනවා. 

උතුරු දිග ඉරාකයේ ඉර්බිල් ප්‍රදේශයේදී අද විශේෂ දේවමෙහෙයක්ද පැවැත්වීමට නියමිතයි. ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම දේවමෙහෙය සඳහා බැතිමතුන් 10,000 ක් පමණ සහභාගී වනු ඇති බවයි පැවසෙන්නේ. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ එවැනි පිරිසක් එකවර දේවමෙහෙයක් සඳහා සහභාගී වීම යම් අවදානම් තත්ත්වයක් මතුකර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. කෙසේවෙතත්, කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙසට මෙම සංචාරයේදී ශුද්ධෝත්තම පියතුමන් විසින් ඉරාක වැසියන් ධෛර්යමත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඉරාකයට මේවනවිටත් ලැබී ඇත්තේ අවශ්‍ය පළමු එන්නත් මාත්‍රා තොගයෙන් කොටසක් බව සඳහන්.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ මෙම ඉරාක සංචාරය දින 04 ක් සඳහා සැලසුම් කර තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසු පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය මෙයයි.