Tuesday, April 16, 2024

General line - 0115112241

අද සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම ඇරඹේ




ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ පළමු එන්නත් තොගය අද සිට මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරිමට නියමිතයි. ඒ අනුව මෙම එන්නත් අද දින සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පමණක් ලබා දීම ආරම්භ කරනු ඇති. ඒ අතරින් ප්‍රමුඛ අවධානය ලබා දී ඇත්තේ කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්ක වලටයි. කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම එන්නත් තොගය කිසි සේත්ම ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංගණය නොවන පරිදි නියම කර ඇති සුදුසු පිරිසට පමණක් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි.

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ පළමු එන්නත් තොගය ලෙස  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් දෙලක්ෂ 64,000 ක් ඊයේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. මෙලෙස ලැබී තිබුණේ ඉන්දියාවේ මුම්බායි හි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා ඇති එන්නත් තොගයක්.

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු එන්නත් තොගය මෙයයි. මෙහි අඩංගු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් දෙලක්ෂ 64,000 ලබා දීමෙන් පසු, ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවයි කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ නෙත් නිවුස් වෙත පැවසුවේ. 
ඉන්පසුවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ දෙවන එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1 දශම 44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.