Friday, April 19, 2024

General line - 0115112241

බස්නාහිර පාසැල් ගැන තීරණයක් ගන්න සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි




බස්නාහිර පළාතේ පාසැල් හැර දිවයිනේ සියලුම පාසැල් ලබන 15 වනදා ආරම්භ කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අනිද්දා අවසන්වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැති කාලය තුළ දින 09 ක් කොරෝනා ආසාදනය වූ සිසුන් 56 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ඔවුන් වෙනුවෙන් සැකසූ මධ්‍යස්ථාන 40 ක් රටපුරා ස්ථාපිත කර ඇති බවත්, සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ පන්ති කාමරයක් සූදානම් කර ඇති බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව නිරෝධායනයට ලක්ව සිටින සිසුන් 321 දෙනෙකු ද මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීිරිස් සඳහන් කළේ. එම විභාගයේ ප්‍රථිපල ජූනි මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව උසස් පෙළ පන්ති ජූලි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.