Thursday, April 25, 2024

General line - 0115112241

හැරී සහ මේගන්ගෙන් බ්‍රිතාන්‍යය රජ පවුල ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් (VIDEO)




බ්‍රිතාන්‍යය රජ පවුලෙන් වෙන්වී මේවනවිට අමෙරිකාවේ දිවිගෙවන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ බිරිඳ ජාත්‍යන්තරය හමුවේ ආන්දෝලනාත්මක කරුණු කිහිපයක්ම අනාවරණ කළා. ඒ, හැරී සහ මේගන් විවාහ දිවියට එළඹීමෙන් පසු රජ පවුලේ සාමාජිකයින් ලෙස පෙනී සිටීමේදී ඔවුන් ලැබූ අත්දැකීම් ලෝකයට හෙළි කරමින්. ඇතැම් හෙළිදරව් කිරීම් හේතුවෙන් බ්‍රිතාන්‍යය රජ පවුලට මේවනවිටත් විවේචන එල්ල වෙමින් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

හැරී සහ මේගන් මෙම කරුණු අනාවරණ කළේ ලෝක ප්‍රකට රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එම සම්මුඛ සාකච්ඡාවේ පූර්ව ප්‍රචාරක පට ප්‍රචාරය වීමත් සමග ඔවුන්ගේ එම සම්මුඛ සාකච්ඡාව නැරඹීමට ලොව පුරා බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් පසුවුණා. කෙසේවෙතත්, අදාළ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මේගන් මාකල් පවසා තිබුණේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළ ජීවිතය සොයා ගැනීම ඉමහත් දුෂ්කර කාර්යයක් වූ බවයි. එසේම ඇය උදව් ඉල්ලූ විට ඇයට උදව් නොලැබුණු බව ද මේගන් හෙළිදරව් කළා. එසේම ඔවුන් විසින් නම හෙළි නොකළ රජ පවුලේ සාමාජිකයෙකු සිය පුතු වන ආචි, වැඩිවියට පත්වන විට ඔහුගේ සමේ අඳුරු පැහැය කෙසේවේදැයි හැරී කුමරුගෙන් විමසා ඇති බව ද මේගන් අනාවරණ කර තිබෙනවා.  එසේම ඇතැම් අවස්ථාවලදි තමන් තවදුරටත් ජීවත්විම අවශ්‍ය නොවන බවද තමන්ට හැගුනු බවයි මේගන් මාකල් පවසා ඇත්තේ. 

මේ අතර හැරී කුමරු ද රජ මාලිගය තුළ තමන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකිරීම විශේෂත්වයක්. ඔහු එහිදී පැවසුවේ ඇතැම් අවස්ථාවලදී තමන් සිය පියාගෙන් ප්‍රතික්ෂේප වූ බවයි. සිය පියා වන චාල්ස් කුමරු ඇතැම් අවස්ථාවල සිය දුරකථන ඇමතුම්වලට පවා ප්‍රතිචාර නොදැක්වූ බවයි හැරී කුමරු ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය වසරේදී රජ පවුල විසින් සිය මූල්‍ය ප්‍රතිපාදන පවා කප්පාදු කළ බව හැරී කුමරු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

හැරී සහ මේගන් මේවනවිට දිය දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන්ගේ මීලග දරුවා දියණියක බව ද හැරී එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.