Friday, March 29, 2024

General line - 0115112241

ජාතියේ නිර්මාණකරු වන ‘සැලසිනෙ’ නව මුහුණුවරකින් කරළියට




ජාතියේ නිර්මාණකරු වන ‘සැලසිනෙ’ නව මුහුණුවරකින් කරළියට

දේශීය ප්‍රචාරණ මාධ්‍ය කලාව තුළ සුවිශේෂී සලකුණු රැසක් සනිටුහන් කරනු ලැබූ සැලසිනෙ ආයතනය, 1982 වසරේදී එවකට පැවති රජය යටතේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ ආරම්භ වූ ආයතනයකි.

දේශීය කීර්තිමතුන් ගණනාවකගේ සභාපතිත්වයෙන් වසර 39 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ආයතනයේ ඉදිරි වසර සඳහා වන සැලසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප හමුවූයේ එහි වත්මන් සභාපති දේශබන්ධු අමිල මොරේමඩ මහතාය.

මෙම ආයතනයේ ආරම්භය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළොත් ?

සැලසිනෙ ආයතනය කියන්නේ රජය සතුව තියෙන එකම ප්‍රචාරණ මාධ්‍ය ආයතනයයි. 1982 වසරේදී එවකට පැවති රජයේ ප්‍රචාරණ කටයුතු සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ උපදේශකත්වයෙන් මේ ආයතනය ස්ථාපනය කිරීමට යොමුවිය. මේ ආයතනය සඳහා සැලසිනෙ යන නම යොදා ඇත්තේ අමාත්‍යංශයේ නමින් ‘සැල‘ යන්නත්, ‘සිනේ‘ කටයුතු සිදුකළ කළ බැවින් ‘සිනෙ‘ යන නාමයත් ගෙන ‘සැලසිනෙ‘ යනුවෙන් එක් කරමින්, විශේෂයෙන් රාජ්‍ය ප්‍රචාරණ ක්ෂේත්‍රයේ යුග ගණනාවක් තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ මේ ආයතනය, පසුගිය වසර පහක කාලය තුළ විශාල පසුබෑමකට ලක්විය. මේ තත්ත්වය මඟහරවා ගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ ගරු ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්ගේ මඟපෙන්වීම සමග රාජ්‍ය අංශය සමග ඒකාබද්ධ වෙමින් ප්‍රමුඛ ප්‍රචාරණ මාධ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම අපේ මූලික අරමුණයි.

මේ කාර්යය සඳහා ඔබතුමන් සතු සැලසුම් මොනවාද ?

මේ ආයතනයේ පසුගිය කාල වකවානුව සම්බන්ධයෙන් මා විසින් සිදුකළ ගවේෂණයෙන් මට පැහැදිලිව අවබෝධ වුණු කරුණක් තමයි පොදුවේ රාජ්‍ය ආයතන තුළ පැවති අකාර්යක්ෂම බව වගේම නිසි සැලසුමක් නොමැතිව මෙහෙයුම් කාර්යයන් දියත් කිරීම මේ තත්ත්වයට බෙහෙවින් හේතුවී ඇති බවයි.මේ නිසා මූලික වශයෙන් පෞද්ගලික අංශයේ කාර්යක්ෂම බව ආයතනය වෙත ගෙනඒම මගේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය ආයතනික පරිපාලන ව්‍යුහය සකස් කිරීම මගේ මූලික අරමුණයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය වන්නේ සක්‍රීය රාජ්‍ය අංශයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා රාජ්‍ය අංශයේ සේවයේ නිරත වූවන්ද ඉදිරිපත් විය යුතුයි යන්න මගේ අදහස. මූලික වශයෙන් මේ අයගේ ආකල්පයන්ගේ වෙනසක් ඇතිවිය යුතුයි යන්න මගේ අදහසයි. මෙහිදී සැලසිනෙ ආයතනය තුළ සේවය කරන අය තුළ නව ආකල්ප ඇතිකරමින් ඒ අයට තමන්ගේ කාර්යයන් නව ජවයකින් යුතුව කරගෙන යාම සඳහා සුදුසු සේවා පරිසරයක් ආයතනය තුළ නිර්මාණය කිරීමට මේ වනවිටද සැලසුම් කර තිබෙනවා. පසුගිය කාලය තුළ බොහෝ රාජ්‍ය ආයතන තුළ පවා සැලසිනෙ අතහැර ගොස් තිබුණේ විශේෂයෙන් මේ ආයතනයේ නිර්මාණාත්මක සේවාවක් ලබාදීමට අපොහොසත් වීම නිසයි. මේ දුර්වලතාවයට අපි සාර්ථක සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. මේ ඔස්සේ කිසිම විටෙක රාමුගත නොවූ ආකර්ෂණීය මෙන්ම වගකීම් සහගත සේවාවක් ලබාදීමට අප නිරන්තරව කැපවී සිටින බව කිව යුතුයි.

මේ සඳහා ආයතනික ව්‍යුහයේ වෙනසක් අවශ්‍ය වෙනවද ?


පෞද්ගලික අංශයේ සේවය කිරීමේ පළපුරුද්ද ඇති මට, මේ ආයතනය තුළ පෞද්ගලික අංශයේ කාර්යක්ෂම බව ඇතිකිරීම මූලික අරමුණයි. මේ සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට යොමුවී තිබෙනවා. මේ යටතේ ආයතනයේ කාර්යමණ්ඩලයේ ආකල්පයන් වෙනස් කරමින් ඔවුන්ගේ දක්ෂතා වලට අනුව ආයතනය තුළ ස්ථානගත කරමින්, ඔවුන්ට ඒ ඒ කාර්යයන් වල වගකීම පැවරීමෙන් ආයතනික ශක්තිය ගොඩනැගීම උදෙසා පුළුල් වැඩසටහනක් දියත් කිරීමට යොමුවුණා. මීට අමතරව ආයතනයක් විදිහට අපගේ කාර්යමණ්ඩලයේ හැකියාවන් සහ සම්පත් භාවිත කරමින් ආයතනයක් විදිහට ජනතාව වෙත වඩාත් සමීප වෙමින්, ආකර්ෂණීය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මීට අමතරව සැලසිනෙ ආයතනය ජනතාව වෙත සමීප කිරීමේ අරමුණින් ගුණාත්මක බවින් යුතු ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම වැනි වැඩසටහන් රැසක් මෙයට ඇතුළත් වෙනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස පැවතීම ඔබේ ආයතනයට කුමනාකාරයේ බලපෑමක් සිදුකර තිබෙනවාද ?

මේක ආයතනයේ කාර්යයන් සඳහා ඉතාමත් හිතකර තත්ත්වයක් විදිහට තමයි මම දකින්නේ. විශේෂයෙන්, රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී එම ආයතන වලට පෞද්ගලික ආයතන වලට වඩා ඉතා පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව තිබීම විශේෂ තත්ත්වයක්. ඒ වගේම රාජ්‍ය ආයතනයක් විදිහට අප සතු වගකීම මෙහිදී වැදගත්වෙනවා. විශේෂයෙන්, ප්‍රචාරණ මාධ්‍ය ආචාරධර්මයන්ට අනුව ඉතා ගුණාත්මක බවින් මෙන්ම ප්‍රබල අයුරින් එම කාර්යයේ යෙදීම සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. ඒවගේම එක අතකින් ඒක අභියෝගයක් බවට පත්වී තිබෙනවා. මේ නිසාම ආයතනයක් විදිහට අපි අපගේ නිර්මාණාත්මක අංශය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ යටතේ දිවයිනේ කීර්තිමක් ප්‍රචාරක ආයතන වල අත්දැකීම් සහිත නිර්මාණ ශිල්පීන්ගෙන් යුතු නිර්මාණාත්මක කණ්ඩායමක් සකස් කර තිබෙනවා. මේ නිසා අපිට පෞද්ගලික අංශය සමග තරඟකාරී සේවාවක් සැපයීමේ හැකියාව තිබෙනවා. මේ වනවිටත් අපි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව ජන සංගණනය සම්බන්ධයෙන් වගේම කොවිඩ් වසංගත තත්ත්වය යටතේ කැපවීමෙන් සිය වෘත්තීය කාර්යයේ නිරත වූ අය ඇගයීම වෙනුවෙන් ‘සුව විරු උත්තමාභිෂේක‘ නමින් නිර්මාණශීලී වැඩසටහන් රැසක් දියත් කිරීමේ සැලසුම් සකසා තිබෙනවා.මේ තුළින් රාජ්‍ය සතු වගකීම වගේම ආයතනය සතු විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින් පුළුල් සේවාවක් සැපයීම අපේ මූලික අරමුණයි.

අනාගත අරමුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත් ?

රාජ්‍ය අංශයේ එකම ප්‍රචාරක ආයතනය විදිහට පෞද්ගලික අංශයේ දැන්වීම්කරණ මාධ්‍ය ආයතන වලට තරඟකාරීත්වයක් ලබාදෙන නිර්මාණශීලී දැන්වීම්කරණ ආයතනයක් බවට ස්ථාවරත්වයක් ලබාගැනීම අපේ මූලික අරමුණයි. ඒ ඔස්සේ ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවල් වලදී දැන්වීම්කරණ අංය යටතේ ප්‍රමුඛතම සම්මාන රැසක් සැලසිනෙ ආයතනය වෙත දිනාගනිමින්, ආයතනයක් විදිහට අපේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා අවශ්‍ය සියලුම මානව සම්පත්, තාක්ෂණික සම්පත් සහ හැකියාවන් අප සතුයි.