Thursday, March 28, 2024

General line - 0115112241

මනෝරි කබඩි තහනමෙන් නිදහස්




කබඩි කී‍්‍රඩිකා මනෝරී ජයසිංහට පැන වූ වසර 4ක තරග තහනම ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය පියවර ගෙන තිබෙනවා.   

පොළොන්නරුවේ පැවති ජාතික මහා ක‍්‍රීඩා උලෙළේ දක්ෂතම කබඩි ක‍්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් ඇය තහනම් උත්තේජක භාවිතා කොට තරග වැදුනේ යැයි පවසා වසර 4ක තරග තහනමක් පනවා තිබුණා. කෙසේ වෙතත් පැවති පරීක්ෂණයකදී මෙම තහනම ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ජනාධිපති නීතිඥ නවින් මාරපනගේ උපදෙස් අනුව උදිත වික‍්‍රමසිංහ හා රශ්මි ඉන්ද්‍රතිස්ස යන නීතිඥවරු පිරිස මෙම ක‍්‍රීඩිකාව වෙනුවෙන් වසර දෙකකට වැඩි කාලයක් තර්ක ඉදිරිපත් කළා.

මෙම නීතිඥවරුන් පෙන්වාදී ඇත්තේ මෙම ක‍්‍රීඩිකාවගේ මුත‍්‍රා සාම්පල් එකතු කිරීම හා ප‍්‍රවාහණය නිසි පරිදි සිදු නොවී ඇති බැවින් සාම්පල පරීක්ෂණ ප‍්‍රතිඵල පිළිගත නොහැකි බවයි.

එමෙන්ම මුත‍්‍ර සාම්පල නියැදි පරීක්ෂා කළ ඉන්දීය පරීක්ෂණාගාරය තහනම් උත්තේජක පරීක්ෂා සඳහා සුදුසු ප‍්‍රමිතියක නොමැති බවට ලෝක තහනම් උත්තේජක මර්දනායතනය  ප‍්‍රකාශ කර ඇතැයිද මෙම නිතිඥයින් පිරිස පෙන්වා දී තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මනෝරි ජයසිංහ කී‍්‍රඩිකාවට පැනවූ වසර 4ක තරග තහනම ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය පියවර ගත්තා.

ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ විසින් මෙම කී‍්‍රඩාවට අවශ්‍ය සහයෝගය දුන්න ද ඇය සේවය කළ ස්ථානයෙන් කිසිදු සහයෝගයක් නොලැබීම කැපී පෙනුනා.