Wednesday, April 24, 2024

General line - 0115112241

ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියාව දෙකට ඇද දමයි




නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ කෙවින් පීටර්සන් ප්‍රමුඛ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 6කින් පරාජය කරමින්. ඒ අනුව 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මූලික වටය අවසන් කළා. මෙම තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලූ තරග ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මූලික වටයේදී තරග 6කට ක්‍රීඩා කළ අතර ඔවුන් පරාජයට පත්ව ඇත්තේ ඉකුත් වසරේ ඉන්දියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගය පමණයි. ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 78කට සීමා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. සුපිරි පන්දුයැවීමක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් සිය පන්දුවාර 4 නිමා කළේ නිලකුණු පන්දුවරයක් සමග ලකුණු 6කට කඩුලූ 4ක් දවා ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට මෙම ඉලක්කය පන්දුවාර 7 යි 4කදී ලබාගත යුතුව තිබුණා. ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 3ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තමන් සතු කර ගත්තා. 
ඒ මෙතෙක් පෙරමුණ ගෙන සිටි ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවන තැනට ඇද දමමින්. සුපිරි පිතිහරඹයක නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26කදී හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 61ක් රැස් කළා. තරගයේ වීරයා තුන් ඉරියව්වෙන් දස්කම් දැක් වූ නායක තිලකරත්න ඩිල්ෂාන්. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ අනුව එම තරගාවලිය 3 ට 0 ක් ලෙස කොදෙව් කණ්ඩායම ජය හිමිකර ගත්තා. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 274 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 48 යි පන්දු 3 කදී කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 276 ක් රැස් කරමින්.