Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් පිපාසය නිවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරගයට




ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේදී ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින්. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 125ක් රැස් කිරීමට සමත් වුණා. මෝර්න් වෑන් වයික් ලකුණු 53ක් සහ ඇල්විරෝ පීටර්සන් ලකුණු 27ක් රැස් කළා. ඔවුන් දෙදෙනා සිය කණ්ඩායම ඉහළ ලකුණු කණ්ඩායමක් කරා ගෙන යාමට වෙර දැරුවද නුවන් කුලසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායමේ මැද පෙළ බිද වැටුණා. 

මෙවර තරගාවලියේ ඉනිමක හොදම පන්දුයැවීම වාර්තා කළ නුවන් කුලසේකර ලකුණු 25කට බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 5ක්. සනත් ජයසූරිය සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 12කට එක් කඩුල්ලක් දවා ගනිමින්. ෆර්විස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ කඩුලූ 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා. 

මෙම තරගයේදී නායක තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 18 බැගින් ලබා ගත්තා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය චින්තක ජයසිංහ පන්දු 25කදී එක් හයේ පහරක් සහ 4 පහර 8ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්. උපුල් තරංග නොදැවී ලකුණු 39 යි. ඔස්ටේ්‍රලියාවේ බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කරන චින්තක ජයසිංහ පිළිබඳ ඉකුත් සමයේ දැඩි කතාබහක් ද මතු වූණා. තරගයේ වීරයා නුවන් කුලසේකර. 

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.