Tuesday, March 19, 2024

General line - 0115112241

පැතුම් නිශ්ශංක වාර්තා පොත් අතරට




සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ සිව් වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඇන්ටිගුවාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනයේදීයි. පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමග පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්.

මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කර ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීරයි. ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ තරගවලදී එම ශතක වාර්තා කර තිබෙනවා.

ඒ අනුව විදෙස් රටකදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසටද පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක් වනවා.

පැතුම් නිශ්ශංකට අනඟි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදී ලකුණු 96 ක් රැස් කළා. ඔවුන් දෙදෙනා 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සබඳතාවක් ගොඩනැගුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 476ක්.

පන්දු යැවීමේදී කෙමර් රොච් ලකුණු 74 ට කඩුළු 3 යි. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169 කට දැවී ගියා.

කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නම් දෙවන ඉනිමේදී ලකුණු 375 ක් රැස් කළ යුතු වනවා.

තරගයේ සිව් වන දිනය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් රැස් කර ගෙන සිටියා.

ඒ අනුව කඩුළු 9 ක් අතැතිව සිටින කොදෙව් කණ්ඩායම තරගය ජය ගැනීමට නම් තරගයේ අවසන් දිනයේදී තවත් ලකුණු 341 ක් ලබාගත යුතු වනවා.