Thursday, April 18, 2024

General line - 0115112241

සූවස් ඇලේ සිරවූ නැව් නිසා ලෝක ඉන්ධන මිලටත් බලපෑම්




ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයටද ක්‍රමයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විචාරකයින් පවසන්නේ නෞකාව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වුවහොත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිලද තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

මේ වන විටත් බොරතෙල් මිල ඉහලගොස් ඇති බවයි විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ. කෙසේවෙතත් මේ වන විට ලැබී ඇති නවතම වාර්තාවල දැක්වෙන්නේ සූවස් ඇලේ සිරවී ඇති නෞකාව ඉන් මුදා ගැනීම සඳහා තවත් සති කිහිපයක් ගත වීමට ඉඩ ඇති බවයි. 

අඩි 1,312ක් දිග අඩි 194ක් පලල මෙම දැවැන්ත නෞකාව සිරවීමත් සමග ඒ වන විට සූවස් ඇලේ යත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකා 160ක් මේ වන විට නැංගුරම් ලා තිබෙනවා. ඒ, සූවස් ඇල, මධ්‍ය දරණි මුහුද සහ රතු මුහුදේයි. මෙලෙස නැංගුරම් ලා ඇති නෞකාවලින් බහුතරය ඉන්දන ප්‍රවාහන නෞකා වනවා. 

පැනමා රාජ්‍යයේ ධඡය සහිතව යාත්‍රා කරමින් තිබු එවග්‍රීන් නම් වූ මෙම නෞකාව තුළ බහලුම් 20,000ක් අඩංගු වනවා. එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000ක් නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී ඉකුත්දා සිරවීමට ලක්වූයේ වැලි කුණාටුවක් හේතුවෙන් මතුවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

ආසියාවේ සිට යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කරන කෙටිම මුහුදු මාර්ගය වන්නේ සූවස් ඇලයි. මීටර් 193කින් දිගකින් යුක්ත සූවස් ඇල හරහා ලෝකයේ බහලුම්වලින් සියයට 30ක් දිනපතා යාත්‍රා කරනවා. සූවස් ඇල නොමැතිව කිසියම් යත්‍රාවක් යුරෝපයට යත්‍රා කරන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ අප්‍රිකාව වටා ඇති මුහුදු මාර්ගය ඔස්සේයි. එම මාර්ගයෙන් ගමන් කරන්නේනම් සූවස් ඇල හරහා ගමන් කිරීමට ගතවන කාලයට වඩා දින 09ක් වැඩිපුර ගතවනවා. එහිදී නෞකාවක් වැඩිපුර නාවික සැතපුම් 3,500ක් හෙවත් කිලෝ මීටර් 6,482ක් ගමන් කළ යුතු වනවා. 

සූවස් ඇල යනු ලෝක භාණ්ඩ ප්‍රවාහන නෞකා ගමන පහසු කිරීම සඳහා 1859දී මිනිසා විසින් සිදු කරනු ලැබූ නිර්මාණයක් වනවා.