Saturday, April 20, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දේදී ගෑස් මිලත් ඉහල යන ලකුණු




මෙරට ගෑස් මිල ගණන් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් පවසනවා. ඔවුන් කියා සිටියේ ලබන මාසයේදී ගෑස් මිල වැඩි නොකළහොත් සිය ව්‍යාපාර දැඩි අර්බුධයකට පත්වන බවයි. ඒ, දිගින් දිගටම ලෝක වෙළදපොලේ ගෑස් මිල ගණන් ඉහල යාම හේතුවෙන්. ලබන මාසයේදීද තවදුරටත් ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහල යනු ඇති බවටයි ගෑස් සමාගම් විශ්වාසය පළ කරන්නේ.

ඉකුත් වසරේ මේ කාලය වනවිට ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල පැවතුණේ ඩොලර් 304ක් ලෙසයි. මේ වන විට එය ඩොලර් 605 දක්වා ඉහල ගොස් තිබෙනවා. කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෑස් මිල අඩු කළ අතර ඉන් පසු කිසිදු මිල සංශෝධනයක් සිදු වුයේ නැහැ. එහෙත් මේ  වන විට තම ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබමින් ඇති බවයි ගෑස් සමාගම් පැවසුවේ. දිගින් දිගටම ඩොලරයේ අගය ඉහල යාමද මෙම පාඩුව තවත් වැඩි වීමට හේතුවක්.

ශ්‍රී ලංකාවේ ගෑස් සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් හිමි ලිටේ්‍රා් ගෑස් සමාගමේ ඉහල පෙළේ නිලධාරියෙකු සඳහන් කළේ ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් බිලියන 1 දශම 09ක පමන පාඩුවක්ද, පෙබරවාරී මාසයේදී රුපියල් බිලියන 02කට ආසන්න පාඩුවක්ද සිදු ව ඇති බවයි. මේ මාසයේදී එය රුපියල් බිලියන 2 දශම 2ක් දක්වා වැඩි වී ඇති බවයි ලිටේ්‍රා් ගෑස් සමාගම පැවසුවේ. සිදු වූ පාඩුව අවම කර ගැනීමට හැකි වී ඇත්තේ ගෑස් සිලින්ඩර් ලබා දීමේදී ලබා ගන්නා තැන්පතු මුදලේ පොලියෙන් බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

මෙරට තවත් ප්‍රධාන ගෑස් සමාගමක් වන ලාෆ් සමාගමෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෑස් මිල ඉහල නැංවීම සඳහා මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.    ලෝක වෙළදපොලේ නව ගෑස් මිල ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රී 12ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් මේ වන විට සූවස් ඇලේ මතුව ඇති අර්බුධය හේතුවෙන් ගෑස් මිල ගණන් ඉහල යාමේ අවධානමක් ඇති බවත් ලාෆ් සමාගම සඳහන් කළා.

කෙසේවෙතත් මෙරට ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරීය මේ දක්වා කිසිදු අවසරයක් ලබා දී නැහැ. එහෙත් ගෑස් සමාගම් පවසන්නේ අලාභයක් නොමැතිව සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් කිලෝ ග්‍රෑම් 12 දශම 05, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 350කින් ඉහල දැමිය යුතු බවයි. 

මේ අතර සූවස් ඇලේ නෞකාවක් සිර වීමෙන් හට ගත් අර්බුධයත් සමග ගෑස් ඇතුලු භාණ්ඩ ප්‍රවාහන නෞකා මේ වන විටත් ඒ ආශ්‍රීත මුහුදේ නැංගුරම් ලා තිබෙනවා. එහි ඇති ටොන් මිලියන 12ක සමස්ථ භාණ්ඩ ප්‍රමාණයෙන් සියයට 03 දශම 01ම ගෑස් බහාලුම් වනවා.