Tuesday, April 16, 2024

General line - 0115112241

මාස 05ක් තුළ විෂ පොල්තෙල් බහාලුම් 100 ශ්‍රී ලංකාවේ




ඉකුත් වසරේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ බහාලුම් අතර සියයකට ආසන්න ප්‍රමාණයක ඇෆ්ලටොක්සින් නැමති පිලිකා කාරක අඩංගු විෂ පොල්තෙල් තිබූ බව අනාවරණ වී තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ පරීක්ෂාවකදීයි. අදාල කාලය තුල මෙරටට ගෙන්වා ඇති බහාලුම් සංඛ්‍යාව දහසකට ආසන්නයි. 

ඒ අතරින් ඉකුත් වසරේ අගභාගය තුළ මෙරටට ගෙන්වා ඇති පොල්තෙල් අඩංගු බහාලුම් සංඛ්‍යාව 650කට ආසන්න වනවා. මේ වසර තුළ මෙරටට ගෙන්වා ඇති පොල්තෙල් අඩංගු බහාලුම් සංඛ්‍යාව 354ක් ඒවායින් බහාලුම් 22ක පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තිබූ බවයි හෙළි කරගෙන ඇත්තේ. එම සියලු බහාලුම් ප්‍රති අපනයනය කරන ලෙසට දැනටමත් දැනුම් දී අවසන්. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ ඒවායින් බහාලුම් ප්‍රමාණයක් දැනටමත් ප්‍රති අපනයනය කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක ඒකකයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කොප්පරා භාවිත කරමින් පොල්තෙල් නිපදවීමේදී යම් ප්‍රමාණයක ඇෆ්ලටොක්සීන් ප්‍රමාණයක් ඊට ඇතූළත් වන බවයි. නිවැරදි ක්‍රමවේදයට කොප්පරා වේලීම සිදු නොවු විට එහි බැදෙන පුස් හරහා ඇෆ්ලටොක්සීන් ඇති වන බවටයි පැවසෙන්නේ. 

මේ අතර පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී සඳහන් කළේ, වෙළදපොලෙන් ලබා ගත් පොල්තෙල් සාම්පලවල පොල් තෙල් අංශු මිලියන 100කට කොතරම් ප්‍රමාණයක් ඇෆ්ලටොක්සීන් අංශු තිබේද යන්න පිළිබඳ පරික්ෂා කළ බවයි. එහිදී සාම්පල 49ක 10ට අඩුවෙන් ද සාම්පල 3ක 17ක් ලෙසද තවත් සාම්පල 3ක, 13ක් හා ඒ ආසන්න ප්‍රමාණවලින් ඇෆ්ලටොක්සීන් අංශු ඇති බවට වාර්තා ලැබී ඇති බවයි පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී සඳහන් කළේ.