Friday, April 26, 2024

General line - 0115112241

රන්ජන්ගේ අසුන අජිත් මාන්නප්පෙරුමට




රන්ජන් රාමනායකගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා පසුගිය වසරේ  පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඔහු, රන්ජන් රාමනායකට පසු ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයෙන් ඊළගට වැඩිම මනාපලාභියා වීම හේතුවෙන්.

අජිත් මාන්නප්පෙරුම එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212 ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමි කරගෙන තිබුණා.

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුමගේ නම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව සභාව තුළ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම තීරණයට විරෝධය පළ කරමින් සභා ගර්භය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ආකාරයක් දක්නට ලැබුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක  වසර 4 ක සිර දඩුවමකට යටත්ව සිටිනවා.

සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර ඉකුත්දා අභියාචනාධිකරණය මගින් එම පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.