Friday, March 29, 2024

General line - 0115112241

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි




දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට පිලිප් කුමරුගේ වයස අවුරුදු 99 ක්. විදෙස් වාර්තා පැවසුවේ එළිසබෙත් රැජින විසින් සිය ස්වාමියාගේ දුක්මුසු වියෝව ප්‍රකාශයට පත් කළ බවයි. බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී ඇත්තේ බ්‍රිතාන්‍යය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි වින්ඩ්සර් මාලිගයේදීයි. 

කලක පටන් රෝගාතුරව සිටි පිලිප් කුමරු ඉකුත් පෙබරවාරි මාසයේදී රෝහල්ගත කෙරුණා. එහිදී හෘද සැත්කමකට ලක් කෙරුණු පිලිප් කුමරුට ආසාත්මිකතාවක් ද හට ගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කළා. දින 28 ක පමණ කාලයක් රෝහල්ගතව සිටි පිලිප් කුමරු වින්ඩ්සර් මාලිගයට පැමිණියේ මීට සති 03 කට පමණ පෙරයි. එම කාලය තුලදී පිලිප් කුමරුට කොරෝනා වෛරසය ද ආසාදනය වී තිබුණා. 

1921 වසරේ ජූනි 10 වනදා ග්‍රීසියේ කෝෆු දූපතේ උපත ලැබූ පිලිප් මවුන්ට්බැටන්, බි්‍රතාන්‍ය රජ කිරුළේ හිමිකාරිය වූ එළිසබෙත් කුමරිය සමග විවාහ වූයේ 1947 වසරේදීයි. විවාහයෙන් වසර 05 ක් ගතවීමෙන් අනතුරුව එලිසබෙත් කුමරිය, රජ කිරුළ පැළඳි අතර පිලිප් මවුන්ට්බැටන්, එඩින්බරෝ අදිපාද ධූරයට පත්වුණා. එතැන් පටන් ලොව කීර්තිමත් රාජකීය අඹුසැමි යුවළක් ලෙස දිවිගෙවූ ඔවුන් දෙපළගේ යුග දිවියට වසර 73 ක්. 

පිලිප් කුමරු දරුවන් සිව්දෙනෙකුගේ පියෙක්, මුණුබුරු මිණිබිරියන් 08 දෙනෙකගේ මුත්තණුවෙක් හා මී මුණුබුරු මිණිබිරියන් 10 දෙනෙකුගේ 
මී මුත්තනුවෙකු ද වනවා. 

ලොව වැඩිම පිරිසකගේ ආදරයට පාත්‍ර වූ රාජකීයයා ලෙස ද හැඳින්වෙන පිලිප් කුමරු දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යය රජ කිරුළ හිමි රැජිණකගේ ස්වාමියා ලෙස ද ඉතිහාස ගත වනවා. පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශේෂ ශෝක ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත්, පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් නිවේදනය කර නැහැ.