Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු වෙනුවෙන් ලෝකයම ශෝක වෙයි




දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවය සැලවීමෙන් පසු ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් සිය කණගාටුව ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඇතුලු ලොව පුරා ප්‍රධාන පුවත් පත් සහ මාධ්‍ය රැසක අද ප්‍රමුඛ ප්‍රවෘත්තිය බවට පත්ව තිබුණේද පිලිප් කුමරුගේ අභාවයයි. 

බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ සිය රට පුරා පිලිප් කුමරු වෙනුවෙන් විවිධ සැමරුම් සිදු කර ඇති බවයි. අමෙරිකාව, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, චීනය, ඇතුලු බොහෝ රටවල ඔහු වෙනුවෙන් සැමරුම් සිදු කරමින් තිබෙනවා. සිය ශෝක පණිවිඩ සටහන් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අවස්ථාව ලබා දීමට රාජකිය පවුල විසින් කටයුතු කර ඇත්තේ පවතින කොවිඩ් අවධානමත් සමගයි. 

පූෂ්පෝහාර දැක්වීමට බකින්හැම් මාලිගයට නොපැමිණෙන ලෙසයි දන්වා ඇත්තේ.

වසර 73ක් සිය සහකරු ලෙස කටයුතු කළ පිලිප් කුමරුගේ අභාවයෙන් දෙවන එළිසෙබත් මහ රැජීණද මහත් සේ කම්පනයට පත් ව ඇති බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය අද වාර්තා කළේ. ඔහුට ගෞරව දැක්වීමක් ලෙස එරට වේලාවෙන් අද දහවල් 12 සිට ලන්ඩනය ඇතුලු ප්‍රධාන නගරවල ආචාර වෙඩි මුර 41 පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. 

මියයන විට 99 හැවිරිදි වියේ පසු වූ පිලිප් කුමරු ලොව වැඩිම පිරිසකගේ ආදරයට පාත්‍ර වූ රාජකීයයා ලෙස ද හැඳින්වෙනවා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති.