Thursday, April 25, 2024

General line - 0115112241

රුසියානු හමුදාවේ 80,000ක් යුක්‍රේන දේශ සීමාව ආසන්නයට : සහයට එන අමෙරිකානු යුද නෞකාවලටත් අනතුරු ඇඟවීමක් (PHOTOS)




යුක්‍රේනයේ නැගනහිර දේශ සීමාව ආසන්නයේ රුසියානු හමුදා ස්ථානගත කිරීමත් සමග මේ වන විට දැඩි උණුසුම් වාතාවරණයක් ඉස්මතුවී තිබෙනවා. ඒ රුසියාව විසින් කුමන අවස්ථාවකදී හෝ යුක්‍රේනය ආක්‍රමණය කිරිමේ සුදානම් වන බවට මත පළවීමත් සමගයි.

පසුගිය දින කිහිපය පුරාවට රුසියාවේ ස්ථාන රැසකින් යුක්‍රේනයේ නැගෙනහිර දේශ සීමාව දක්වා රුසියානු හමුදා භටයින් 80,000ක් යුද ටැංකි, මිසයිල පද්ධති සහ ගුවන් ආරක්ෂණ පද්ධති රැගෙන විත් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම භට පිරිසට අමතරව ඉදිරි දින කිහිපය තුලදී තවත් රුසියානු හමුදා සාමාජිකයින් 30,000ක් දේශ සීමාව ආසන්නයට කැඳවීමට රුසියානු බලධාරීන් බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.

මෙවැනි හමුදා භට පිරිස් සහ සන්නද්ධ රථ යොමු කිරීම සම්බන්ධයෙන් රුසියාව සඳහන් කර ඇත්තේ මෙය යුක්‍රේනය ආක්‍රමණය කිරීමට නොව සිය යුද අභ්‍යාසයක් සඳහා අවශ්‍ය පෙර සුදානමක් සිදු කරමින් සිටින බවයි.

මේ අතර ඊයේ දිනයේදී රුසියානු යුද නෞකා දෙකක් කලු මුහුදේ යුද අභ්‍යාසයක නිරතවන අයුරු රුසියානු මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණ අතර එහිදී එම නෞකා දෙක විසින් මිසයිල සිය අභ්‍යාසය සඳහා යොදා ගනු ලැබූ අයුරු නිරීක්ෂණය වූ බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ.

මේ අතර කලාපයේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් අමෙරිකාවේ USS Donald Cook සහ USS Roosevelt ප්‍රහාරක නෞකා දෙක යුක්‍රේනයට සහය පළකරමින් ඊයේ දිනයේදී "කලු මුහුදට" අවතීර්ණය වීමට නියමිතව තිබුනත් පසුව එම සැලසුම වෙනස් කර තිබුණා.

ඒ රුසියානු යුද නෞකා දෙක එම මුහුදු කලාපයේ සිදුකරනු ලද යුද අභ්‍යාස හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් අමෙරිකානු යුද නෞකාවන් මේ වන විටත් කලු මුහුද ආසන්යේ ස්ථාන ගත කොට ඇත.

අමෙරිකානු යුද නෞකා රුසියාවට ආසන්න මුහුදු කළාපයට පැමිණීම අනවශ්‍ය බවත්, යම් මැදිහත්වීමක් සිදුකල හොත් සිය හමුදාවන් ඊට ප්‍රතිචාර දක්වන බවයි රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sergei Ryabkov සඳහන් කර සිටින්නේ.

රුසියාවේ යුද ක්‍රියාකාරකම් වලට පිළිතුරු ලෙස යුක්‍රේනයද සිය දේශ සිමා ආසන්නයේ යුද අභ්‍යාසයක් පවත්වා ඇති අතර දෙපාර්ශවයේ යුද සුදානම් වීම ඉතා ඉහළ අගයක් ගන්නා බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර සිටින්නේ.