Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ දිනක් තුල කොවිඩ් රෝගීන් ලක්ෂ 02ක් : ප්‍රාන්ත රැසක ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් සහ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියක් 




ඉන්දියාවේ මේ වන විට ද්විත්ව විකෘති භාවයකින් යුක්ත කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට එරට විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා.

මෙම ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයන් (E484Q සහ L452R) දෙකේ එක්වීමෙන් තුන්වන කොවිඩ් ප්‍රභේදයක් නිපැදවෙන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

L452R නම් කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදයක් වන අතර E484Q කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙන් හමුවූ වෛරස් ප්‍රභේදයක් වනවා.

ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විටත් ඉන්දියාවේ මහාරාෂ්ඨ, දිල්ලි, බටහිර බෙංගාල්, ගුජරාට්, කරණාටක සහ මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 10ක ව්‍යාප්තව ඇති බවට සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

දැනට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් රැල්ලේ ඉහල යාමට මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය හේතුවක් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිමට මේ වන විටත් ආසාදිතයින් 14,000ක ගේ වෛරස් සාම්පල් ජානමය අනුක්‍රමණ පරීක්ෂණයක් සඳහා යොමු කොට ඇත.

මේ අතර බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදයේද ඉහළ ව්‍යාප්තියක් ඉන්දියාව තුලින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්නුම් කරන්නේ. 

ඉන්දියාවේ ප්‍රාන්ත 18ක් තුලම බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 02ක් ඉක්මවා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගේ වැඩි වීමත් සමග ප්‍රදේශ රැසක රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර අසාධ්‍ය රෝගීන් හට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට ද දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඉන්දියාවේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා ඇති බවයි එරටින් ලැබෙන දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.

මේ අතර මුමාබායි නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් කොරෝනා රෝගීන් සඳහා වන ප්‍රතිකාර මධස්ථාන බවට පත් කිරීමට ප්‍රාන්ත බලධාරින් සහ පෞද්ගලික රෝහල් විසින් පියවර ගෙන ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ අමතර ඔක්සිජන් ටැංකි ලක්ෂයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවයි.