Friday, April 19, 2024

General line - 0115112241

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට සහ ආයතන 32 කට අමෙරිකාවෙන් සම්බාධක




අමෙරිකාව විසින් රුසියාවට සම්බාධක පනවා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ, සයිබර් ප්‍රහාර සහ වෙනත් සතුරු ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් එම පියවර ගත් බවයි. රුසියාවේ ආයතන 32 ක් සහ රුසියානු නිලධාරීන් රැසක් එල්ල කරගත් මෙම සම්බාධක මගින් රුසියාවේ හානිකර විදේශ ක්‍රියාකාරකම් වළක්වාලීමට අපේක්ෂා කරන බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.

අමෙරිකාවේ ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වය අස්ථාවර කිරීමට රුසියාව අඛණ්ඩව උත්සාහ දරන්නේ නම්, රුසියාව මත උපාය මාර්ගික සහ ආර්ථිකමය වශයෙන් බලපෑමක් ඇති කිරීමට අමෙරිකාව තීරණය කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අමෙරිකාවේ රාජ්‍ය සහ පෞද්ගලික පරිගණක ජාල 18,000 කට සයිබර් අපරාධකරුවන්ට ප්‍රවේශය ලබා දුන් සෝලාර්වින්ඩ්ස් සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව චෝදනා කරන්නේ, රුසියාවේ විදේශ බුද්ධි සේවයටයි. එමෙන්ම, පසුගිය වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට  මැදිහත් වූ බවට ද රුසියාවට චෝදනා එල්ල වනවා.

ඒ අනුව නව සම්බාධක යටතේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකු නෙරපා හැරීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ. එමෙන්ම, අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ රුසියානු ආයතන 32 කට ද සම්බාධක පනවා තිබෙනවා.