Thursday, April 25, 2024

General line - 0115112241

චිකාගෝ පොලිසිය පිරිමි ළමයෙකුට වෙඩි තබන ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට




චිකාගෝ පොලිසියේ නිලධාරියෙකු විසින් 13 හැවිරිදි පිරිමි දරුවෙකුට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එම ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය මාර්තු මස 29 වනදායි.

පොලිස් නිලධාරීන් විසින් එම දරුවා හඹා යන අයුරු සහ “එය අත්හරින්න” යනුවෙන් පොලිස් නිලධාරියෙකු විසින් දරුවාට විධානය කරන අයුරු වීඩියෝ පටයේ දැක්වෙනවා.

දිවීම නතර කළ දරුවා සිය දෑත්වල කිසිත් නොමැති බව පෙන්වීමට උත්සාහ කරමින් ආපසු හැරෙන විට ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල වන වෙඩි පහරින් ඔහු බිම ඇද වැටෙන අයුරු වීඩියෝගත වී තිබෙනවා.

කෙසේ වෙතත්, ආරක්ෂක කැමරාවල දැක්වෙන්නේ එම දරුවා දිව යන අතරතුර අසළ තිබූ වැටකට ඉහළින් යමක් විසි කරන බවයි. ඔහු එලෙස යමක් විසි කළ ස්ථානයේ පිස්තෝලයක් තිබෙන බව, පොලිසිය විසින් පසුව සිදු කළ තවත් වීඩියෝ පටයක දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා 21 හැවිරිදි රූබන් රෝමන් නැමැති පුද්ගලයෙකු සමග මහාමාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔවුන් පසු කරමින් ගිය මෝටර් රථයකට රූබන් රෝමන් නැමැත්තා විසින් වෙඩි තබා තිබෙනවා.
 
එම අවස්ථාවේ අදාළ ස්ථානයට චිකාගෝ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඒ වනවිට පිස්තෝලය තිබී ඇත්තේ පොලිස් වෙඩි ප්‍රහාරය ලක්වූ පිරිමි දරුවා ළග බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව නීතිවිරෝධී සහ නොසැලකිලිමත් ලෙස ගිනි අවියක් භාවිත කිරීම, දරුවෙකු අනතුරේ හෙලීම යන වැරදි සම්බන්ධයෙන් රූබන් රෝමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ මැයි මාසයේදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ව අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිත පොලිස් නිලධාරී ඩෙරෙක් ෂෝවින්ගේ නඩු විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් ජනතාව බලා සිටින මේ දිනවල, මෙලෙස 13 හැවිරිදි පිරිමි දරුවෙකු ද පොලිස් නිලධාරීන් විසින් ඝාතනය කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.