Thursday, April 25, 2024

General line - 0115112241

විමල්, වාසු සහ ගම්මන්පිල අගමැති කැඳවූ පක්ෂ නායක සාකච්ජාවෙන් ඉවත් වෙයි




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් වර්ජනය කර ඇතැයි වාර්තා වනවා. ඒ, අදාළ රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන්.

අද පෙරවරු 10 යි 30 ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර පවතින මතභේද ඉවත්කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහායි. එම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර තිබෙනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත පක්ෂ ඇත්තේ 14 ක් පමණක් බවයි. සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වන නමුත්, මෙම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර ඇති බවත් එම අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව තම පක්ෂවල ගැටළු මෙම රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කර අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

කෙසේ වෙතත්, සෙසු පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍යවරුන් වන ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් ඊට එක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ. 

මැයි දිනය සැමරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැළියක් පමණක් පැවැත්වීමට එහිදී සාකච්ඡා වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබුණා.