Saturday, April 20, 2024

General line - 0115112241

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය හෙටට කල් තැබේ




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට දිනය දක්වා කල් තැබුණා.

ඒ, අදාළ පෙත්සම් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. 
අද දිනයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන්, ඉංජිනේරු කපිල රේණුක පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදූවගේ, ලේඛක ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර වෙනුවෙන් නීතිඥ එරාජ් ද සිල්වා, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන ද  අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

මේ අතර, මෙම පෙත්සම් වලට එරෙහිව පාර්ශවයන් කිහිපයක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා.

එලෙස අතරමැදි පාර්ශවයන් ලෙස පෙත්සම්වලට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේ අමාත්‍ය ජි.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්.

ඒ අනුව අතරමැදි පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි අගවිනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවේ. එම පාර්ශවයන්ගේ වාචික දේශන වලින් පසු නීතිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බව ද අගවිනිසුරුවරයා එහිදී දැනුම් දී තිබෙනවා.