Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා නිසා ඉන්දියාව බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට




බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමේ රෙගුලාසි පනවන රටවල් අයත් වන රතු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන්. ඒ අනුව ලබන 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුගිය දින 10 ක කාලය ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම් වනු ඇති.

කෙසේ වෙතත්, ඒ අතරින් බ්‍රිතාන්‍යය සහ අයර්ලන්ත විදෙස් ගමන්බලපත්‍ර හිමි පුද්ගලයින්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට  ඇතුළු වීමට අවසර හිමි වනවා. ඔවුන් රජයේ අනුමත හෝටල්වල දින 10 ක කාලයක් නිරෝධායනය විය යුතු බවයි බ්‍රිතාන්‍යය රජය නිවේදනය කළේ. මේ වනවිට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 103 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. 

මේ අතර, ඉන්දියාවේ මේ වනවිට පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය කොරෝනා මර්දන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන්නේද යන්න සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, එය වඩාත් සැලකිලිමත් විය යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත තවමත් ලැබී නොමැති බවයි, අදාළ විමර්ශන සිදු කරන විද්‍යාඥයින් කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥයෙකු ප්‍රකාශ කර ඇත්තේ. 

කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයකට වසා දමා තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 56,000 කට අධිකයි. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,757 ක්.