Thursday, March 28, 2024

General line - 0115112241

ලොක්ඩවුන් කිරීමට බලාපොරොත්තුවක් නැහැ- යුද හමුදාපති  (LIVE)




රට තුළ පවතින තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේදී රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. රට තුළ යළි ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වසංගත තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

ඊට එක්වෙමින් කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේ එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේදී මහජනයා එක්රැස්වන ස්ථානවලට යාමෙන් සහ සැමරුම් උත්සව මෙන්ම චාරිකාවලට එක්වීමෙන් වළකින ලෙසයි.

මෙරට ජනතාව බුද්ධිමත් බැවින් ප්‍රදේශ අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මුහුණු ආවරණ නිසි අයුරින් පැළදීම සහ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ.

රට තුළ යළි උද්ගතව ඇති තත්ත්වය පිළිබද සළකා ජනතාව කටයුතු කරනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එහිදී සදහන් කළේ. 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද මෙම මාධ්‍ය හමුවේදී රට තුළ පවතින කොරෝනා තත්ත්වය පිළිබද අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය, විශේෂඥ වෛද්‍ය නීලිකා මලවිගේද එක්වුණා. රට තුළ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය කුමක් දැයි නිශ්චිත තොරතුරු ඉදිරි දින කිහිපයේදී දැන ගත හැකි බවයි.

මෙම වෛරසය වාතය මගින්ද බෝවිය හැකි බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක අවදානම් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ.