Saturday, April 20, 2024

General line - 0115112241

විදෙස්ගතව පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන කාල සීමාව දීර්ඝ කෙරේ 




විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව මිට පෙර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දින 07ක් ලෙස දක්වා තිබුනද එය දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයන් හි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද සවස් කාලය වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ඇති බවයි.

මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිත කොරෝනා එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අදහස් පළ කළා.