Friday, March 29, 2024

General line - 0115112241

අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකියි : කොවිඩ් රෝගීන්ට නිවෙස් තුලදීම ප්‍රතිකාර කිරීමට අවධානය - රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 




ඉදිරියේදී අවශ්‍ය වුවහොත් රට වසා තැබීමට වුවද සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. රටේ පවතින වසංගත තත්වය අධ්‍යයනය කර තීන්දු තීරණ ගන්නා බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

“වසංගත විද්‍යාත්මකව තමයි මේ වහන තීන්දු ගන්නේ. දේශපාලනිකව නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥ අවශ්‍යතාවය මත වහනවා. සමහරවිට අනවශ්‍ය විදිහට වහන එකටත් අපිට එකඟ වෙන්න බැහැ. අවශ්‍යතාවය අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාටත් දිසාපතිතුමාටත් කතා කරලා කරන්න පුළුවන්. හැබැයි අධ්‍යක්ෂ ජනරාල්තුමාට දැනුවත් කරන්න ඕනේ කියන උපදෙස් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවය මත ග්‍රාම නිලධාරී වසම් වැහෙනවා. එතකොට ඉස්සරහට අපි බලමු… අවශ්‍ය වුනොත් රට වහන්න සිද්ධ වෙයි.” රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

මේ අතර ඉදිරියේදී කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පුද්ගලයින්ට නිවෙස් තුළදීම ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සකස් කරමින් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියා. සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් ඇදන් 2000ක ප්‍රමාණයකින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කළ යුතු බවයි අමාත්‍යවරිය පැවසුවේ.