Friday, March 29, 2024

General line - 0115112241

ශානි අබේසේකරගේ පෙත්සම විභාගයට ගැනීමට දින නියම වෙයි




දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මැයි මස 19 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ විනිසුරු නීල් ඉද්දවෙල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී .

හෘද සැත්කමකට භාජනය වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කඩිනමින් විභාග කිරීමේ  අවශ්‍යතාවය ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයේ දී අවධාරණය කර සිටියා .

ඒ අනුව පෙත්සම මැයි මස 19 දා විනිසුරු බන්දුල කරුණාරත්න මහතා සහ ආර්.ගුරුසිංහ මහතාගෙන් සමන්විත  ද්විපුද්ගල විනිසුරු මඩුල්ල  ඉදිරියේ විභාග කිරීමට දින නියම කරන ලදී ..

මේ අතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ගොනු කළ පෙත්සමද මැයි  මස 19 දා විභාගයට ගැනීමට  සලකා බැලීමට ද අභියාචනාධිකරණය අද දින නියම කරන ලදී .

2013 දී ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්‍ෂි කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකරා සහ සුගත් මෙන්ඩිස් යන අය  කොළඹ අපරාධ කොට්ඨාසය  විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කරන ලදී . එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත අතර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණය සහ ගම්පහ මහාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී .

ඒ අනුව එම අධිකරණ වලින් ඇප ප්‍රතික්ෂේප කිරීමට නිකුත් කළ නියෝග ප්‍රතිශෝධනය කර සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි