Saturday, April 20, 2024

General line - 0115112241

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මියයයි 




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවූ කොස්ගොඩ තාරක අද  අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී 34 හැවිරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

සැකකරුගේ මරණ පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු වුයේ ද කොස්ගොඩ තාරකයි. 

අදාළ සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.