Friday, April 19, 2024

General line - 0115112241

සංචරණ සීමා පැනවීමට අනුගත වෙමින් ජනතාව කටයුතු කරයි




දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමට අනුගත වෙමින් බොහෝ ප්‍රදේශවල ජනතාව අද පෙරවරු කාලයේ කටයුතු කළ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

දිවයින පුරා විසිරී සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් අද පෙරවරුවේ සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකදී දැකගත හැකි වුණේ බොහෝ ප්‍රදේශ පාලු ස්වභාවයක් ගෙන ඇති ආකාරයයි.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය අදට යෙදී තිබුණද ඔවුන් සියලු දෙනා සිය නිවෙස් වලට ම වී සිය සැමරුමි සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තා කරුවන් පැවසුවේ.

කෙසේ වෙතත් දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීම තවදුරටත් දැඩිව පරීක්ෂා කරමින් සිටින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීමට පොලිස් නිළධාරීන් 20,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි.

ලබන සඳුදායින් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීමට තැත් කළ පුද්ගලයින් 425 දෙනෙකු ආපසු හරවා යවා ඇති බවයි.

අද හෙට සහ අනිද්දා යන දින 03 පුරා රටතුළ සියලු සංචරණයන් තහනම් වනවා.

මෙම සංචරණ සීමා පැනවීම සිදුවූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සංචරණය උපරිමයෙන් සීමා කිරීම මෙහි අරමුණ වනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී ඇතුළු හදිසි තත්ත්වයකදී හැර වෙනත් කිසිඳු අවස්ථාවකදී කිසිඳු පුද්ගලයෙකුට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ නැහැ.

ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර හා ඖෂධ ඩිලිවරි ක්‍රමය ඔස්සේ ජනතාව වෙත ලබාදීමට අවසර ලබාදී ඇති අතර ඇගළුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමයට අනුගතව සිදුකළ හැකි වනවා.
 
ඩිලිවරි සේවා සඳහා අවසර පත්‍ර හා බලපත්‍ර ලබාදීම අවශ්‍යම පුද්ගලයින් සඳහා පමණක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එම කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙනවා.

ඒ අනුව සංචරණ සීමා පනවන අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ, දිස්ත්‍රික්කය තුළ හා දිස්ත්‍රික්කයෙන් පිටත ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට බලපත්‍ර නිකුත් කරනු ඇති.