Thursday, April 25, 2024

General line - 0115112241

දිනක් තුළ ඊශ්‍රායලයෙන් ගාසා තිරයට බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර 1000ක් : පිට පිට 05 වන දිනටත් දරුණු ගැටුම් ඇවිලෙයි (PHOTOS / VIDEO)




පලස්තීනය සහ ඊශ්‍රායාලය අතර ඊයේ දිනයේද දැඩි ගැටුම්කාරී තත්ත්වයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඊශ්‍රායලය විසින් 9,000ක පිරිසකගෙන් යුත් අතිරේක භට කණඩායම් ගාසා තීරයට කැඳවා ඇත. ඒ ඕනෑම මොහොතක ගාසා තිරයේ පිහිටි හමාස් සංවිධනයේ ඉලක්ක වෙත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමට කටයුතු කරන බවට අගමැති බෙන්ජමින් නෙතන්නියාහු ඊයේ ප්‍රකාශ කර සිටිමෙන් අනතුරුවයි.

මේ අතර ඊශ්‍රායාලය විසින් උතුරු සහ නැගෙනහිර ගාසා තිරයේ පිහිටි හමාස් සංවිධානයේ භූගත උමං මාර්ග ඉලක්ක කර ගෙන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

හෙලිකොප්ටර්, ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු උපයෝගී කරගනිමින් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර 1000 කට අධික සංඛ්‍යාවක් ඊයේ දිනයේදී එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 220ක් පමණ එල්ල කර තිබෙනවා. ඊට අමතරව ලෙබනනයේ සිටද රොකට් ප්‍රහාර 03ක් එල්ලවූ බවයි ඊශ්‍රායල් ආරක්ෂක අංශ පැවසුවේ.

හමාස් සංවිධානයේ භූගත මිසයිල සහ රොකට් ප්‍රහාර සංකීර්ණ ඉලක්ක කර ගනිමින් අද උදෑසනද ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව සඳහන්.

මේ අතර දකුණු දිග ගාසා තිරයේ ඊශ්‍රායල් සහ අරාබි ජාතිකයින් වෙසෙන ප්‍රදේශ කිහිපයක ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වූ බවත් සිදුවීම් කිහිපයකින් ඊශ්‍රායල් ආරක්ෂක අංශ සාමාජිකයින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් සඳුදා සිට ඇතිවූ ගැටුම් වලින් ඊශ්‍රායල් ජාතිකයින් 07 දෙනෙකු සහ පලස්තීන ජාතිකයින් 130 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.