Wednesday, April 24, 2024

General line - 0115112241

PCR පරීක්ෂණයෙන් පසු මව්පියන් බැලීමට නිවසට ගිය පුතෙකුගෙන් මුළු පවුලටම කොවිඩ් ආසාදනය වෙයි : පියා සහ බාප්පා වෛරසයෙන් ජිවිතක්ෂයට

ටි.කේ.ජි.කපිල




PCR පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසුව සිය දෙමව්පියන් බැලීම සඳහා නිවසට ගිය පුතෙකුගෙන් ඔහුගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පියා සහ බාප්පා ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගියදා PCR පරීක්ෂණයකට ලක්ව දින කිහිපයකට පසුව ඉකුත් මැයි මස 08 වෙනිදා කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට පැමිණ ඇත්තේ දෙමව්පියන් දෙදෙනා බැලීමටය. සිය දෙමව්පියන් දෙදෙනා සමග මිනිත්තු 30 ක කාලයක් නිවසේ රැඳී සිටීමෙන් පසුව ඔහු යලි තමන් පදිංචි නිවස බලා පැමිණ තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු එදිනම සවස ඔහුගේ PCR පරීක්ෂණ ප්‍රථිපල ලැබී ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හෙළිවී ඇත. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබෙනවා.

මේ අතර පසුගිය මැයි මස 09 වෙනිදා සවස් කාලය වන විට මෙම ආසාදිත පුද්ගලයාගේ 60 හැවිරිදි මවට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කැස්ස ආදී රෝග ලක්ෂණ හේතුවෙන් කටුනායක පොලිසියේ මැදිහත් වීමෙන් පසුව මීගමුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරනු ලැබ තිබෙනවා.

පසුව ඉකුත් මැයි මස 12 වෙනිදා 66 හැවිරිදි පියාට ද පෙර මෙන් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කටුනායක පොලිසිය මැදිහත් වීමෙන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා මිගමුව රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇතිව තිබු සංකුලතා හේතුවෙන් පසුගිය 14 වෙනිදා මියගොස් ඇත. පසුව සිදුකළ පරීක්ෂණ වලදී ඔහු කොවිඩ් ආසාදිතව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මේ අතර කටුනායක ඇවරිවත්ත නිවසෙහි සිටි මොහුගේ සොහොයුරියන් දෙදෙනාට ද කොරෝනා රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව ඔවුන් ද නීරෝධායන ක්‍රියාවලිය සදහා රැගෙන ගොස් ඇත.

කොවිඩ් ආසාදිතව මියගිය 66 හැවිරිදි පියාගේ සහෝදරයාද මෙම කටුනායක නිවසෙහි සිට ඇති අතර ඔහු මන්ද මානසික රෝගයකින් පෙළෙමින් සිට තිබෙනවා. 60 හැවිරිදි ඔහුටද කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් එදිනම සවස ජිවිතක්ෂයට පත්වී ඇත. ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසු පොලිසිය මැදිහත්ව අවසන් කටයුතු සිදුකර ඇත.