Wednesday, April 24, 2024

General line - 0115112241

වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණයක්




කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ, එම උපදේශක කාරක සභාව එහි සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 හිදී අද පැවැත් වුණා. ඒ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අමාත්‍ය ජී එල් පීරිස් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හා එහි වපසරිය පිළිබඳ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් වරාය නගරය හා බැදී පවතින ආර්ථික ප්‍රතිලාභ සහ වටිනාකම් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්තේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.  ඒ, අනුව එම ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ද අනුමත විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.