Friday, March 29, 2024

General line - 0115112241

FCIDයට අධිකරණ නියෝගයක්




කුප‍්‍රකට මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ලේඛන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව භාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (09) නියෝග කළා. ඒ අනුව මුල් ලේඛන අස්ථානගත වීම කිසිවෙකු විසින් සිතා මතා කළ එකක් බවට හෙළි වුවහොත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ඇය වැඩිදුරටත් නියෝග කළේ.

ගනුදෙනුවට අදාළ මුල් ලේඛන සිය භාරයෙන් අස්ථානගත වී ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.

මුල් ලේඛන අස්ථානගත වුවද එහි පිටපත් භාවිත කරමින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ද නොනවත්වා සිදුකරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබාදුන්නේ.

කුප‍්‍රකට මෙම මිග් යානා ගනුදෙනුව 2006 සහ 2007 යන වසරවලදී සිදුව තිබෙනවා. රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ද ඒ සඳහා කි‍්‍රයාකාරීව සහභාගි වූ බවයි පැවසෙන්නේ.

මීට පෙර ඔහු යුක්රේනයේ පදිංචිව සිටි බව කියන නිවසේ දැනට ඔහු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නඩුවට පෙනී සිටීම සඳහා ඔහු වෙත සිතාසි භාරදීමට ද නොහැකි වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය අධිකරණය වෙත දැනුම් දී සිටියේ. නඩුව සැප්තැම්බර් 26 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි.