Thursday, April 25, 2024

General line - 0115112241

සංචරණ සීමාවන් ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ 




කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අනුව මෙම කාල සීමාවේදී දැනට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ ජනතාවට ජංගම රථ මගින් ලබාදෙන ආහාර පාන ආදිය බෙදා හැරීම් සිදුකිරීම සඳහා මෙම කාල සීමාවේදී අවසර හිමිව තිබෙනවා.

මේ අතර දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක කාලයක් විවෘත කිරීමට පියවර ගනු ලබන බවත් එය ඉදිරියේදී රජය මගින් දැනුම් දෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ.

ඊට අමතරව සංචරණ සීමාවන් පනවා ඇති කාල සීමාවේදී ඇගලුම් කර්මාන්ත ශාලා, ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ව්‍යාපෘති, කෘෂි කර්මාන්ත කටයුතු, කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ගම්මානවල පවත්වනු ලබන සති පොලවල් යම් නියාමනයන්ට යටත්ව පැවැත්වීමට ද අවධානය යොමු වී ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නිසි අවසරයක් නොමැතිව ගමන් ගන්නා පුද්ගලයන් හා ධාවනය වන වාහනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් හෙට සහ අනිද්දා දෙදින විශේෂ පරීක්‍ෂාවක් සිදුකරන ලෙසටද බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා. ඒ අනුව පළාත් මාර්ග බාධක සහ පොලිස් ස්ථාන මට්ටමින් යොදවා ඇති මාර්ග බාධක මෙන්ම මංසන්ධි රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් එම විශේෂ පරික්‍ෂාව සිදු කිරීමට නියමිතයි.